Monday, August 30, 2010

96 දී අර්ජුන සහ 2011 දී සංගා

1996 ලෝක කුසලානයට කලින් ලංකාව ඕස්ට්‍රේලියව හතුරෙක් කරගත්තා, ඒ බෙන්සන් ඇන්ඩ් හෙජර්ස් කුසලානය ඕස්ට්‍රේලියවට ගිහිල්ල අරන් ආව නිසයි.. ලෝක කුසලාන අවසාන තරගයේදී ඒ හතුරව පරාජය කරන්න අර්ජුන සහ පිරිවර සමත් වුනා. .
micromax කුසලානයේදී ලංකාව ඉන්දියාව හතුරෙක් කරගත්තා.. අවසාන තරගයේදී ඒ හතුරව පරාජය කරන්න සංගක්කාර සහ පිරිවර සමත් වුනා...
2011 ලෝක කුසලාන අවසාන තරගයට ඉන්දියාව සහ ලංකාව අවොත් පුදුම වෙන්න දෙයක් නැහැ... ඉතිහාසයේ වුන දේ අනාගතයේදී ආයෙත් සැරයක් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.. 1996 ට කලින් අර්ජුනගේ කණ්ඩායමේ තිබුන එකමුතුව, කණ්ඩායම් හැගීම සංගක්කාරගේ කණ්ඩායමේත් තියෙනවා.
දිනපු කප් එකත් අරන් සංගා කෙලින්ම ගියේ රන්දිව් ලගට..
හැමදාම කප් එක ගන්න පොරකන කවුරුත් ඉස්සරහට අවේ නැහැ..
ඒක... දිගටම තිබුනේ රන්දිව් අතේ..
අඩුම තරමේ B 'day BOY වත් ඒක ලගට අවේ නැහැ...
ක්‍රිකට් බෝර්ඩ් එක රන්දිව් ගැන මොනවා කිව්වත් ක්‍රිකට් ගහන අය කියන්නේ මොකද්ද කියල කට්ටියම දැක්කා...
මේ කණ්ඩායම් හැගීම ලෝක කුසලානය දිනන්න ඕනෑවටත් වැඩියි.. ( ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න . . හොරු ටික ,මේක නැති කරන්න මොනවත් නොකෙරුවොත්..! )





නිපන්දු සිද්ධියෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායම් හැගීම ප්‍රබල වුනා.. එහෙම කිව්වේ ජාත්‍යන්තර විස්තර ප්‍රකාශකයෝ..

මේ තරගාවලිය පටන්ගන්න කලින් ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එක කිව්වේ ලෝක කුසලානයට පෙර පුහුණුවක් විදිහට මේක පාවිච්චි කරනවා කියල.. දැන් කරන්න තියෙන්නේ මේ හැදුන කණ්ඩායමට අඩු වැඩි ටික හදල දෙන එකයි... මේ කණ්ඩායම හැදෙන්න ප්‍රධාන හේතුව රන්දිව් ගේ නිපන්දුවයි..
ෂෙවාග් ට නිපන්දුවක් දැමීම වෙනුවෙන් රන්දිව් ට දඩ ගෙවන්න සිද්ද වුනා.. රන්දිව් ඒක කලේ ප්‍රතිවාදියාගේ ශතකය අහිමි කරන්න..
පන්දු යවන්නෙක්ගෙන් නිපන්දුවක් යැවීම වෙනුවෙන් දඩ ගත්ත එකම රට ශ්‍රීලංකාව වෙන්න පුළුවන් කියල බොහෝ දෙනා කිව්වා.
දඩය නියම කලේ ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එක, ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය අතට අරන් ඉන්න ඉන්දියාව සතුටු කරන්න.
ලෝකයේ හොදම පිතිකරුව ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඔහු මුහුණ දුන් අන්තිම තරගයේදී ඒක ලකුණක් ලබාගත්තනම් ඔහුගේ සාමාන්‍ය 100 ලෙසට සටහන් වෙනවා...
නමුත් මුහුණ දුන්න පළමු පන්දුවෙන් දැවී ගියා. . ඔහුට පන්දු යැවූ ක්‍රීඩකයාට ඒක ලකුණක් ලෙහෙසියෙන්ම දෙන්න තිබුන.. රන්දිව්ට වගේම.
ඔහු කලේ ලෝකයේ හොදම පිතිකරුගේ සාමාන්‍ය 99.9 යෙන් නැවත්වීම..
රන්දිව් කලේ ෂෙවාග් ගේ ඒක ශතකයක් 99 යෙන් නැවත්වීම.. පන්දු යවන්නෙක් ප්‍රතිවාදී ක්‍රීඩකකුට ලකුණු නොදීම සාමාන්‍ය දෙයක්...

Tuesday, August 17, 2010

කකුලේ අමාරුවකට දුවපු එකෙක්

ඉස්කෝලේ පටන්ගන්න කලින් තියෙන රැස්වීම මතකද..?

එක දවසක් මහා රැස්වීම , තව දවසක් අංශ රැස්වීම . . ඔය වගේ හැට හුට හමාරක් තියෙනවනේ. කට්ටියගේ ඇග කිලිපොලා ගියේ ඔය රැස්වීම් වල නාම ලේඛනයේ පිළිවෙලට මොනවා හරි ඉදිරිපත් කරන්න ඕනේ කියල නීතියක් ගෙනවහම.. කොහොම හරි මගේ නම තියෙන්නේ විසි පස් වෙනියට විතර.. එක නිසා කවදාවත් මම ඉන්න හරියට ඕක එන්නේ නැහැ. . ලිස්ට් එකේ අන්තිමට ඉන්න එවුන්ට ෆුල් ආතල්.. ඉතින් අන්තිමට ඉන්න එවුන් ඔය කරන ඉදිරිපත්කිරීම් ගැන කිසිම විදිහේ හැගීමක් නැහැ.

දවසක් අපි ඉස්කෝලෙට යනකොට කට්ටිය අංශ රැස්වීමට යනවා.. බස්වල යන අපි කොහොමත් ඉස්කෝලෙට යන්නේ බෙල් එක ගැහැව්වම තමයි. මමත් ගිහිල්ල වෙනද වගේ අපේ පංතියේ පෝලිමේ අන්තිමට සෙට් උනහම තමයි දැනගත්තේ.. අද ඉදිරිපත් මට කියල.. එහෙම වෙන්නේ කොහොමද මට ඉස්සෙල්ල ඉන්නේ මීයා ( මහින්ද ) නේ, මීයා කවදවත් ගියේ නැහැනේ කියල මම ලෝර්ඩ් වගේ හිටිය. ටික වෙලාවකින් පන්ති නායකයා ඇවිල්ල අද මීයා ඇවිල්ල නැහැ, එක නිසා උබට තමයි කරන්න වෙන්නේ කිලය කිව්වම තමයි මට මීයාව මරාගෙන කන්න හිතුනේ.
එකම විසදුම පැනල දුවන එක තමයි කියල හිතල වට පිට බලනකොටයි දැක්කේ.. අංශ භාර ගුරුතුමා ඇවිල්ල හිටගෙන ඉන්නවා අන්තිමට. . උදේ පාන්දර උනාට දාඩිය දානවා ඉහින් කටින්.
පන්සිල් ගන්න වෙලාවෙත් මම කල්පනා කලේ මොකද්ද කරන ඉදිරිපත් කිරීම කියල. කිසිම දෙයක් ඔලුවට එන්නෙත් නැහැ..
පිස්සුවෙන් වගේ ඈත බලාගෙන ඉන්නකොට ශක්‍ර දේවයා වගේ මීයා එනවා...වෙනද වගේ හිනා වේවි ( තාමත් මට මැවිලා පේනවා ).. අම්මෝ..හ් ඒ වෙලාවේ දැනුන හැගීම් කියල විස්තර කරන්න බැහැ.
මීයා ඇවිල්ල හිටගත්තා විතරයි මම ලගට ගිහිල්ල ( ගිය නෙවෙයි..යැවුනා ) තව මිනිත්තු දහයකින් විතර ඌට වෙන දේ ගැන පැහැදිලි කලා. ඇස්දෙක එහෙම ලොකුවෙලා.. කූරු කූරු තියෙන කොන්ඩේ එහෙම කෙලින් වෙනවා දැක්ක විතරයි.. මෙන්න මු වාෂ්ප වුනා. හැරිලා බලනකොටයි දැක්කේ ඉස්සෙල්ල මීයා දුවනවා පස්සෙන් අංශභාර ගුරුතුමා දුවනවා... ( මීයයි.. පුසයි වගේ ) යාළුවා උනත් ඕකවනම් අල්ලගන්න පුළුවන් වෙන්න දෙය්යනේ කියල තමයි මම ප්‍රර්ථනා කලේ. . රැස්වීමේ වැඩ ටික වෙලාවකට නැවතුනා මේ තරගේ හින්ද..
කොහොම හරි නිශ්ෂධ බලය පාවිච්චි කරලා මියව කුදලාගෙන අවා. ඉදිරිපත් කිරීම් ගැන හාංකවිසියක් නොදන්නා ගුරුතුමා මියවත් ඉස්සරහ තියාගෙන දෙහි කපනවා පැලෙන්න.. " මේ යකා රැස්වීම කට් කරලා කියනවා කකුලේ තුවාලෙට ප්ලාස්ටර් එකක් ගහගන්න ගියාලු... එච්චර අමාරුවක් තියෙන මනුස්සයෙක් කොහොමද මේ විදිහට දුවන්නේ, දන ගහනවා රැස්වීම ඉවරවෙනකන් ". ( ඒ කාලේ දන ගහන එක තරන් වෙන කිසිම දෙයක් කරන්න නැතුව ඇති ) අපි මෙහෙ ඉදන් මීයට විහිලු කරනකොට එකා හිනාවෙනවා.. " තව හිනාවෙන්නත් එනවා... ඇනගන්නවා ටොක්කක් " හිනාවෙනවා දැකල අංශභාර තුමාට තවත් තද වෙලා. කොහොම කොහොමහරි මේ අලකලංචිය හින්ද මල පැනල හිටිය අංශභාර ගුරුතුමා පැය බාගයක් විතර දෙහි කපපු නිසා ඉදිරිපත් කිරීම් පසුවට කල් ගියා..

යාන්තන් එදත් මම බේරුනා...

Thursday, August 5, 2010

තැලිලා තැලිලා පොඩි වෙලා යන මේ රයිඩ් ඒක . . .

ගිය සතියේ කොළඹ ආවේ මෝටර් බයික් එකේ.. ටිකක් වැඩිපුර නිදා ගත්ත නිසා.( සදුදා දවසෙත් වැඩිපුර ටිකක් වෙලා නිදාගන්න තියෙන කැමැත්ත ගැන මම මතක් කරන්න ඕනේ නැහැනේ ) අවුරුදු 10 ක් විතර ඉදන් මෝටර් බයික් පදින මම මේ වෙනකන්ම කිසිම මාර්ග භාදකයක නවත්තල නැති එක ගැන ප්‍රසිද්ධ සභාවක ලගදි දවසක කියද්දී තවත් යාලුවෙක් කිව්වේ ඕක ගැන ඔච්චර උදම් අනන්න ගිහින් අනාගන්න තමයි හදන්නේ කියල. . .
පරක්කු වෙලා තිබුන නිසා ටිකක් විතර නයා ගියපු පාරේ තමයි මම අවේ... මෝටර් බයික් වාහන තදබද තියෙන තැන්වල යනවා කට්ටියම දැකල ඇතිනේ.. අනිත් එක සදුදට නුවර ඉදන් කොළඹ එන මිනිස්සු,වාහන කන්දරාව නිසා විදලා විදලා පිබලා ආවත් ඔෆිස් එකට එනකොට 10.30 වෙනවා.. ඉතින් කට්ටියම ඉඩ ලැබුන ගමන් පිඹල එනවා එක පෝලිමට.. මමත් ඔය එන පෝලිමකට සෙට් වෙලා එනකොට ගිඩි ගිඩි ට්‍රැක්ටර් ( ගිඩි ගිඩි ගගා යන පොඩි ට්‍රැක්ටර් ) එකකට පාන් බට්ටෙක් ඉස්සර කරනවා ඊටත් වඩා හෙමින්. පාර ඉඩ තිබුන නිසාත් . . වාහන දෙකම හෙමින් ගියපු නිසාත් නිසා මම තුන් වෙනි පාර්ශවය විදිහට ඉස්සර කරන්න හදනකොටම පාර අයිනේ කෙනෙ ඉදන් ගැහැව්වා විසිල් එකක්... යාලුවෙක් වෙන්න ඇති කියලා බලනකොටයි දැක්කේ...
කතා දෙකක් නැහැ.. බඩේ බත් ටික වගේ දඩ තමයි කියලා බොහොම ශාන්ත විදිහට රාළහාමි ලගට ගියා.
ඉදිරිය හොදට පැහැදිලි නිසයි මම වාහන ඉස්සර කරන්න හැදුවේ කියලා කරුණු දැක්වුවත්, " ඔබ තුමා වැරද්දක් කරලා තියෙනවා.. එකට දඩුවමක් දෙන්න ඕනේ හැදෙන්න" කියලා මට අවවාද කරලා අවිනීත ලෙස රිය පැදවීම යටතේ දඩයක් දැම්මා. හැබැයි දඩය ගෙවන්න ගියාමයි දැනගත්තේ 150/= ක පොඩි දඩයක් කියලා.
ඔන්න මගේ පලවෙනි දඩය..( පොලොසියට ගෙව්ව )

මෙන්න කතාවේ නියම හරිය...
දැන් මම සිකුරාදා හවස බොහොම විවේකිව ගෙදර යන ගමන් බොහොම හෙමින් යන වෑන් එකක් ඉස්සර කරන්න සිග්නල් එලි පත්තු කරගෙන පස්සෙන් යනවා... දෙන දෙය්යෝ දෙන්නේ බිම පෙරලගෙන කියනවනේ. යාලුවෝ තුන්දෙනේක්ම ඉදලා ගැහැව්වා විසිල් එක.. වැරද්දක් නොකරපු නිසා මෝටර් සයිකලයෙන් බැහැලා බය නැතුව ගියා ලිය කියවිලි ටික ඔක්කොම අරගෙන. මෙන්න බොලේ එක රාලහාමි කෙනෙක් හෝ ගාල ලියනවා.. එහෙම ලියන ගමන් මගෙන් අහනවා දන්නවද කරපු වැරැද්ද මොකද්ද කියලා..#!..% ?
ඔලුව වටේට කැරකෙන තරු වල ආතල් එක බලන එක නවත්තලා මම කිව්වා "මම දන්නේ නැහැ . . දන්නා තරමින් වැරද්දක් කලෙත් නැහැ කියලා". වංගුවේ ඉස්සරකරන්න තහනම් කියලා දන්නේ නැද්ද කියලා අහනකොටම ලොකු දොරවල් 2 ක් තියෙන බස් එකක් ඒ වෙලාවේම ඒ වංගුවේ U TURN එකක් ගැහැව්වා. ( හිතාගන්නකෝ වංගුවේ තරම ) ලිය ලිය හිටපුව පැත්තකට දාල හරකා, බුරුවා..!*$#...කිය කියා රාළහාමිලා තුන් දෙනාම ඒ පැත්තට දිව්වා. . . විනාඩි 10 කින් විතර අපහු ආව ලොක්කා රාලහාමි කියනවා මම වංගුවේ ඉස්සර කරන්න හැදුවලු. . . එක නිසා දඩ ලියන්න ඕනේ කියලා.
මම කොච්ච‍ර කිව්වත් සිග්නල් එලි පත්තු කරගෙන පස්සෙන් අවට ඉස්සර කරන්න හැදුවේ නැහැ කියලා... රාළහාමි නො හෙල්ලුම්. විසිල් එක ගැහැව්වා පොඩි රාලහාමිට කතා කරලා අහනවා මෙයා ඉස්සර කරන්න හැදුව නේද කියලා... විසිල් එක ගහපු එකා කියයි ද නැහැ කියලා....
අනේ මගේ කට...!
විනාඩි 30 ක් විතර මම එතන... දඩ ලියන පාටකුත් නැහැ , යන්න දෙන පාටකුත් නැහැ. මට තේරුණා පොල් පැලේ කන්න තමයි හරකා හදන්නේ කියලා. 150/= ක් නේ දඩ ගහන්නේ කියලා මමත් සද්ද නැතුව හිටියා.. ඉල්ලන දේ දුන්නෙම නැහැ... ( ගෙදර යන ගමන් නේ...)
අන්තිමට වැරදි ලෙස ඉස්සර කිරීම යන වැරැද්දට දඩ කොලයක් ලිව්වා...(දෙවෙනි දඩය) සන්තෝසේ... බැහැ. සදුදා එකයි , සිකුරාදා එකයි.
ඒක ගෙවන්න ඊයේ පෙරේදා ගියහම තමයි අයෙත් තරු පෙනුනේ... දඩය 500/= ක්.

සදුදා කරපු වැරැද්ද ගැන නෙවෙයි මම කියන්නේ . . රථවාහන පොලිසිය ඉන්නේ දඩ ගහන්නම නෙවෙයිනේ...වැරදි නොවෙන්න වාහන හසුරවන්නත් එක්කයි. එහෙම අය නැහැ කියනවා නෙවෙයි.. ඇත්තටම සදුදා හම්බවුන රාළහාමි නිසා මම පිබලා යන ඒක අඩු කලා. එත් සිකුරාදා රෑ හිටිය අයනම් කරන්නේ රටට විනාශයක්... අපි ලංකාවේ පොලෝසිය කියලා එයාල ඔප්පු කලා.
අයෙත් නම් කොච්චර පරක්කු උනත් මෝටර් බයිසිකල් වල ඔෆිස් එන්නේ නැහැ කියන තැන මම ඉන්නේ... දියුණු වෙන රටක වෙන්න ඕනේ වැඩ පහසු කරන ක්‍රමයන් හදුන්වල දෙන ඒක නේද . .මෙයාලා 100/= ක් 200/= ක් හොයාගන්නවට වැඩිය විනාශයක් රටට කරනවා කියලයි මට හිතෙන්නේ.. ලංකාවේ අනාගතයම පස්සට අදිනවා කියලයි මට හිතෙන්නේ..කාටද පැමිණිලි කරන්නේ .?

මොනවා කරන්නද නඩුත් හාමුදුරුවන්ගේ( රජ්ජුරුවන්ගේ )
.....බඩුත් හාමුදුරුවන්ගේ ( රජ්ජුරුවන්ගේ ).