Friday, December 31, 2010

නොනවතින.. නිමාවක් සහ ඇරඹුමක්

අලුත් සිතුම් වලින් පිරිලා ඉතිරිලා අලුත් අවුරුද්දක් පටන් ගන්න ඉන්න හැමෝටම .. ඒ පැතුම් ඉටු කරගන්න වාසනාව ලැබේවා . . .

අවසානයේ පරණ අවුරුද්ද නිමා විය... දැන් අලුත් ඇරඹුමක්, අලුත් පැතුම් පොදිබැදගත් අලුත් අවුරුද්දක් 
හැමෝම අලුත් වෙලා.. අලුත් සුභ පැතුම්,අලුත් සිතුම්... කෝටියයි... 
එත් තාම කරන්නේ පරන දේවල් මයි. තිස් එක් වෙනිදා නොකළ එක අලුත් දෙයක් ,එක වෙනස් දෙයක් . . . අලුත් අවුරුද්දේ ඔබ කරන්න හිතා ගත්තද...?
පරන අවුරුදු වල එහෙම හිතා ගත්ත දේවල් කීයක් දැන් කරලා තියෙනවද... ?

පරන අවුරුද්දේ  කරගන්න බැරි උන දේවල්ම කොච්චර තියෙනවද ඉවර  කරගන්න, ඉතින් කොහොමද අලුත් දෙයක් පටන්ගන්නේ. හැමදාම අවුරුද්ද පටන්ගන්නකොට මේ වගේ පරන අවුරුද්දේ කරපු දේවල්ම අලුත් පාටකින් අලුතින් කරන්න හිතා ගන්නවා එහෙමනැත්තන් කරනවා..
අලුත් අවුරද්දක් කියන්නේ පොඩි කික් එකක් විතරයි, කරන්නේ පරන දේවල් මයි..
පොඩි කාලේ අලුත් අවුරුද්දක් එනවා කියන්නේ මාර ෆන් දවසක්... ඉස්කෝලේ නිවාඩු දවසක් , කන පැලෙන්න සෙල්ලන් කරන්න හම්බවෙන දවසක්, ගෙවල් වල කෑම මේසවල් කැවිලි වලින් පිරිලා තියෙන දවසක්
ටික ටික ලොකු වෙනකොට ඒ ෆන් තවත් වැඩි වෙනවා, හේතුව තිස් එක රෑ කියන්නේ මැක්සා ෆන් එකක් ගන්න පුළුවන් දවසක් නිසා.
එත් කාලෙක ඉදන් දෙසැම්බර් තිස් එක වෙනකොට පොඩි භයක්, දුකක්, කලකිරීමක් ඇති වෙනවා, හේතුව ගෙවෙන අවුරුද්දේ ඉටු කරගන්න බැරි උන ප්‍රර්ථනා ගොඩ මතක් වෙන නිසා, ගිලිහුන දේවල් මතක් වෙන නිසා.. ඉටුකරගත්ත දේවල් නැතුවාම නොවෙයි.
ඔක්කොටම වඩා දුක  පහු ගිය අවුරුද්දේ උන දේ දැන දැනම අලුත් අවුරුද්දක් නිසා ආපහු සැරයක් පහු ගිය අවුරුද්දට වඩා බලාපොරොත්තු එක්ක අලුතින් පටන් ගන්න වෙන නිසා...

සමාවෙන්න මේක නොම්මරේගේ අලුත් සිතුමක් වත්, පැතුමක්වත් නොවෙයි

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක්...!

Tuesday, December 7, 2010

හොලවන්න බැහැ මාව

මම ඉන්නේ.. හරියට
වරදින්නේ.. උබට
හොලවන්න.. ආවට
හෙලවෙන්නේ නෑ මම

උදුරන්න... ආවට
දෙන්නේ නෑ  අරගන්න
උදුරගෙන... බැලුවට
බැහැ උබට වැඩගන්න

මම ඉන්නේ... බලාගෙන
උබ  කරන අයුරුවම 
හරියන්නේ නෑ උබට
හිතේ තියෙන කහටට 

උබ හිතන් උන්නාට
පළවෙනියා උබ කියල
උබ නෙවෙයි පළවෙනියා
මගෙන්... මම උදුරාපු
 

Monday, December 6, 2010

සජිත් මන්ත්‍රීතුමා බන්දුල ඇමතිතුමාට කිව්ව් ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා මිනුම

පාසල් වල ගුරුවරුන්ට දවස් 18 ක් පඩි සහිතව නිවාඩු දුන්න ඉන්ටර්නැෂනල් කොම්පියුටර් ඩ්‍රයිවින් ලයිසන් ඒක ගන්න. .
පඩියට අමතරව  රුපියල් හාරදහස් ගානකුත් දුන්න ඉගෙන ගන්නවට.
දවස් 18 ට මොඩියුල් 7 ක් තියෙනවා ICDL වල ඉගෙන ගන්න, වැඩේ ටිකක් අමාරුයි. ටිකක් නෙවෙයි හොදටම අමාරුයි. මොකද එක මොඩියුල් එකකට වැටෙන්නේ දවස් දෙක හමාරයි.
දවස් දෙක හමාර හම්බවෙන්නේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නත් එක්ක.

මෙන්න තිබුන මොඩියුල් හත :

Basic Concepts of IT
Computer and Managing Files
Word Processing
Spreadsheets
Databases
Presentations
Information and Communication

පාඨමාලාව  පැවැත්වුවේ ලංකාවේ ප්‍රසිද්ධ පරිගණක උගන්වන ආයතන. . . ගුරුවරුන් විසි දෙනා බැගින්..
අධ්‍යාපන අමාත්‍යංශයෙන් වැඩේ කරනවට මේ ආයතන වලට ලොකු ගානක් දුන්න. . .
වැඩේට සම්බන්ද ඒ පළාත භාර අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කට රුපියල් විසිදහසකට වැඩි කුට්ටියක් දුන්න ඊලග පාඨමාලාවත් (විසි දෙනාත්) තමන්ගේ ආයතනයට ගන්න පුළුවන් වෙනවා කියල ඒ ආයතන ප්‍රධානීන්ව දැනුවත් කරලා තිබුන.. එත් සමගම ගුවවරු  හැමෝම ඔන්ලයින් විභාගය පාස් වෙන්නත් ඕනේ. . . කියලත් දැනුවත් කරලා තිබුන.

පරිගණකයක් දැකලවත් නොතිබුන සමහර ගුරුවරු දවස් 18 ට ඉගෙනගෙන ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියල ICDL සහතික පත්‍ර ලාභින් වුනා.
වැඩේ ජයටම කෙරුණේය. . . 
හැමෝම පාස් වුනේය..
රුපියල් කෝටි ගණනක් වැය කරපු එම ව්‍යාපෘති යේ ඵල ප්‍රයෝජන අද එම ගුරුභවතුන්ගෙන් ශ්‍රී ලාංකීය සිසු දැරියන් ලබනවා ඇති.

සජිත් මන්ත්‍රීතුමා බන්දුල ඇමතිතුමාට ඊයේ පෙරේද කිව්වේ ශ්‍රී ලංකාවේ මෙන්න මේ පරිගණක සාක්ෂරතාව ගැනය..

සජිත් මන්ත්‍රීතුමා සහ බන්දුල ඇමතිතුමාගේ කතාව මෙතනින්

Tuesday, November 23, 2010

ඔහුද ආත්මාර්ථකාමී , මමද ආත්මාර්ථකාමී

එය නොකරන ලෙස මම ඔහුට බල කෙළෙමි.  අකමැත්තෙන් ඔහු එය නොකලත් මාත් සමග වාද කෙළේය.. ඇනුම්පද කිව්වේය.
මගේ සිමාව ඉක්ම ගිය තැන මම ඔහුට බැන වැදුනෙමි.
අවසානයේ ඔහු එය තේරුම් ගත්තේය.. (හරියටම නොදනී) නමුත් මා ඔහුට බැනවැදුණ වචන තාමත් ඔහුට මතකය.
අස්වැන්න අඩු කරන වල් පැලයක් ගලවපු ගොවියෙකුගේ සතුට මටත් නොදැනුනා නොවෙයි... නමුත් සිදු වූ දෙය ගැන මගේ සිතේ ඇත්තේ කනගාටුවකි.

තවත් දවසක ඔහු මා ගෙන් උපදෙස් පැතුවේය. ඔහුට එය අපහසු කාර්යයකි. මම ඔහුට එය එකහෙලාම පැවසුවත් , කලින් සිදුවීම නිසා ඔහුට බල නොකෙරුවෙමි. තීරණය ඔහුට ගැනීමට ඉඩහැරියේය.
මගේ නිහැඩියාව ගැන ඔහු මගෙන් ප්‍රශ්න කෙළේය. මම කලින් සිදුවීම සිහිකෙළෙමි, එහිදී මා හට වූ සිත්තැවුල නිසා එසේ නොකළ බව පැවසුවෙමි.

ඔහු එම කාර්ය කරන බවත්, එය සාර්ථක කර පෙන්වන බවත්, මගේ උදවු අනවශ්‍ය බවත් සිහියේ තබා ගන්න ලෙස කියා ඔහු නික්ම ගියේය. නමුත් කලින් සිදුවීමට වඩා මෙහිදී ඔහු මා සමග අමනාප වූ බව දැනෙමි.

හෙට දිනත් ඔහු මා සොයාගෙන එන බව දනිමි. මා කුමක් කරම් ද ?

Tuesday, September 21, 2010

සතුටු වෙන්නද. . . මම

ඒ දවස් වල... එක ඇමතුමක් නොදුන්නාම
කදුළු පුරෝන ඉදල බැරි ම තැන
කරන විගඩම් . . .    
මතකයි තාම මට

සමරන්න බැරි වුනු
ඒ . .  දවස . . .
නුබේ ලෝකයේ වටිනාම දිනය බව
නොදන්නවා ම නොවෙයි . . .  මම

වචනයක් වත් නොකිය උන්නට
රහසින් වත් දුක්  නොවී ඉන්නට
නුබට බැරි බව දන්නවා. .  .මම

නුබේ පුංචි ලෝකයෙන්
ටිකෙන් ටික ඈත් වෙලා
මාව තේරුම් ගන්නවා කියල ම  හිතන්නද මම

සතුටු වෙන්නද. . .  මම

Monday, August 30, 2010

96 දී අර්ජුන සහ 2011 දී සංගා

1996 ලෝක කුසලානයට කලින් ලංකාව ඕස්ට්‍රේලියව හතුරෙක් කරගත්තා, ඒ බෙන්සන් ඇන්ඩ් හෙජර්ස් කුසලානය ඕස්ට්‍රේලියවට ගිහිල්ල අරන් ආව නිසයි.. ලෝක කුසලාන අවසාන තරගයේදී ඒ හතුරව පරාජය කරන්න අර්ජුන සහ පිරිවර සමත් වුනා. .
micromax කුසලානයේදී ලංකාව ඉන්දියාව හතුරෙක් කරගත්තා.. අවසාන තරගයේදී ඒ හතුරව පරාජය කරන්න සංගක්කාර සහ පිරිවර සමත් වුනා...
2011 ලෝක කුසලාන අවසාන තරගයට ඉන්දියාව සහ ලංකාව අවොත් පුදුම වෙන්න දෙයක් නැහැ... ඉතිහාසයේ වුන දේ අනාගතයේදී ආයෙත් සැරයක් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.. 1996 ට කලින් අර්ජුනගේ කණ්ඩායමේ තිබුන එකමුතුව, කණ්ඩායම් හැගීම සංගක්කාරගේ කණ්ඩායමේත් තියෙනවා.
දිනපු කප් එකත් අරන් සංගා කෙලින්ම ගියේ රන්දිව් ලගට..
හැමදාම කප් එක ගන්න පොරකන කවුරුත් ඉස්සරහට අවේ නැහැ..
ඒක... දිගටම තිබුනේ රන්දිව් අතේ..
අඩුම තරමේ B 'day BOY වත් ඒක ලගට අවේ නැහැ...
ක්‍රිකට් බෝර්ඩ් එක රන්දිව් ගැන මොනවා කිව්වත් ක්‍රිකට් ගහන අය කියන්නේ මොකද්ද කියල කට්ටියම දැක්කා...
මේ කණ්ඩායම් හැගීම ලෝක කුසලානය දිනන්න ඕනෑවටත් වැඩියි.. ( ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න . . හොරු ටික ,මේක නැති කරන්න මොනවත් නොකෙරුවොත්..! )





නිපන්දු සිද්ධියෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායම් හැගීම ප්‍රබල වුනා.. එහෙම කිව්වේ ජාත්‍යන්තර විස්තර ප්‍රකාශකයෝ..

මේ තරගාවලිය පටන්ගන්න කලින් ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එක කිව්වේ ලෝක කුසලානයට පෙර පුහුණුවක් විදිහට මේක පාවිච්චි කරනවා කියල.. දැන් කරන්න තියෙන්නේ මේ හැදුන කණ්ඩායමට අඩු වැඩි ටික හදල දෙන එකයි... මේ කණ්ඩායම හැදෙන්න ප්‍රධාන හේතුව රන්දිව් ගේ නිපන්දුවයි..
ෂෙවාග් ට නිපන්දුවක් දැමීම වෙනුවෙන් රන්දිව් ට දඩ ගෙවන්න සිද්ද වුනා.. රන්දිව් ඒක කලේ ප්‍රතිවාදියාගේ ශතකය අහිමි කරන්න..
පන්දු යවන්නෙක්ගෙන් නිපන්දුවක් යැවීම වෙනුවෙන් දඩ ගත්ත එකම රට ශ්‍රීලංකාව වෙන්න පුළුවන් කියල බොහෝ දෙනා කිව්වා.
දඩය නියම කලේ ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එක, ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය අතට අරන් ඉන්න ඉන්දියාව සතුටු කරන්න.
ලෝකයේ හොදම පිතිකරුව ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඔහු මුහුණ දුන් අන්තිම තරගයේදී ඒක ලකුණක් ලබාගත්තනම් ඔහුගේ සාමාන්‍ය 100 ලෙසට සටහන් වෙනවා...
නමුත් මුහුණ දුන්න පළමු පන්දුවෙන් දැවී ගියා. . ඔහුට පන්දු යැවූ ක්‍රීඩකයාට ඒක ලකුණක් ලෙහෙසියෙන්ම දෙන්න තිබුන.. රන්දිව්ට වගේම.
ඔහු කලේ ලෝකයේ හොදම පිතිකරුගේ සාමාන්‍ය 99.9 යෙන් නැවත්වීම..
රන්දිව් කලේ ෂෙවාග් ගේ ඒක ශතකයක් 99 යෙන් නැවත්වීම.. පන්දු යවන්නෙක් ප්‍රතිවාදී ක්‍රීඩකකුට ලකුණු නොදීම සාමාන්‍ය දෙයක්...

Tuesday, August 17, 2010

කකුලේ අමාරුවකට දුවපු එකෙක්

ඉස්කෝලේ පටන්ගන්න කලින් තියෙන රැස්වීම මතකද..?

එක දවසක් මහා රැස්වීම , තව දවසක් අංශ රැස්වීම . . ඔය වගේ හැට හුට හමාරක් තියෙනවනේ. කට්ටියගේ ඇග කිලිපොලා ගියේ ඔය රැස්වීම් වල නාම ලේඛනයේ පිළිවෙලට මොනවා හරි ඉදිරිපත් කරන්න ඕනේ කියල නීතියක් ගෙනවහම.. කොහොම හරි මගේ නම තියෙන්නේ විසි පස් වෙනියට විතර.. එක නිසා කවදාවත් මම ඉන්න හරියට ඕක එන්නේ නැහැ. . ලිස්ට් එකේ අන්තිමට ඉන්න එවුන්ට ෆුල් ආතල්.. ඉතින් අන්තිමට ඉන්න එවුන් ඔය කරන ඉදිරිපත්කිරීම් ගැන කිසිම විදිහේ හැගීමක් නැහැ.

දවසක් අපි ඉස්කෝලෙට යනකොට කට්ටිය අංශ රැස්වීමට යනවා.. බස්වල යන අපි කොහොමත් ඉස්කෝලෙට යන්නේ බෙල් එක ගැහැව්වම තමයි. මමත් ගිහිල්ල වෙනද වගේ අපේ පංතියේ පෝලිමේ අන්තිමට සෙට් උනහම තමයි දැනගත්තේ.. අද ඉදිරිපත් මට කියල.. එහෙම වෙන්නේ කොහොමද මට ඉස්සෙල්ල ඉන්නේ මීයා ( මහින්ද ) නේ, මීයා කවදවත් ගියේ නැහැනේ කියල මම ලෝර්ඩ් වගේ හිටිය. ටික වෙලාවකින් පන්ති නායකයා ඇවිල්ල අද මීයා ඇවිල්ල නැහැ, එක නිසා උබට තමයි කරන්න වෙන්නේ කිලය කිව්වම තමයි මට මීයාව මරාගෙන කන්න හිතුනේ.
එකම විසදුම පැනල දුවන එක තමයි කියල හිතල වට පිට බලනකොටයි දැක්කේ.. අංශ භාර ගුරුතුමා ඇවිල්ල හිටගෙන ඉන්නවා අන්තිමට. . උදේ පාන්දර උනාට දාඩිය දානවා ඉහින් කටින්.
පන්සිල් ගන්න වෙලාවෙත් මම කල්පනා කලේ මොකද්ද කරන ඉදිරිපත් කිරීම කියල. කිසිම දෙයක් ඔලුවට එන්නෙත් නැහැ..
පිස්සුවෙන් වගේ ඈත බලාගෙන ඉන්නකොට ශක්‍ර දේවයා වගේ මීයා එනවා...වෙනද වගේ හිනා වේවි ( තාමත් මට මැවිලා පේනවා ).. අම්මෝ..හ් ඒ වෙලාවේ දැනුන හැගීම් කියල විස්තර කරන්න බැහැ.
මීයා ඇවිල්ල හිටගත්තා විතරයි මම ලගට ගිහිල්ල ( ගිය නෙවෙයි..යැවුනා ) තව මිනිත්තු දහයකින් විතර ඌට වෙන දේ ගැන පැහැදිලි කලා. ඇස්දෙක එහෙම ලොකුවෙලා.. කූරු කූරු තියෙන කොන්ඩේ එහෙම කෙලින් වෙනවා දැක්ක විතරයි.. මෙන්න මු වාෂ්ප වුනා. හැරිලා බලනකොටයි දැක්කේ ඉස්සෙල්ල මීයා දුවනවා පස්සෙන් අංශභාර ගුරුතුමා දුවනවා... ( මීයයි.. පුසයි වගේ ) යාළුවා උනත් ඕකවනම් අල්ලගන්න පුළුවන් වෙන්න දෙය්යනේ කියල තමයි මම ප්‍රර්ථනා කලේ. . රැස්වීමේ වැඩ ටික වෙලාවකට නැවතුනා මේ තරගේ හින්ද..
කොහොම හරි නිශ්ෂධ බලය පාවිච්චි කරලා මියව කුදලාගෙන අවා. ඉදිරිපත් කිරීම් ගැන හාංකවිසියක් නොදන්නා ගුරුතුමා මියවත් ඉස්සරහ තියාගෙන දෙහි කපනවා පැලෙන්න.. " මේ යකා රැස්වීම කට් කරලා කියනවා කකුලේ තුවාලෙට ප්ලාස්ටර් එකක් ගහගන්න ගියාලු... එච්චර අමාරුවක් තියෙන මනුස්සයෙක් කොහොමද මේ විදිහට දුවන්නේ, දන ගහනවා රැස්වීම ඉවරවෙනකන් ". ( ඒ කාලේ දන ගහන එක තරන් වෙන කිසිම දෙයක් කරන්න නැතුව ඇති ) අපි මෙහෙ ඉදන් මීයට විහිලු කරනකොට එකා හිනාවෙනවා.. " තව හිනාවෙන්නත් එනවා... ඇනගන්නවා ටොක්කක් " හිනාවෙනවා දැකල අංශභාර තුමාට තවත් තද වෙලා. කොහොම කොහොමහරි මේ අලකලංචිය හින්ද මල පැනල හිටිය අංශභාර ගුරුතුමා පැය බාගයක් විතර දෙහි කපපු නිසා ඉදිරිපත් කිරීම් පසුවට කල් ගියා..

යාන්තන් එදත් මම බේරුනා...

Thursday, August 5, 2010

තැලිලා තැලිලා පොඩි වෙලා යන මේ රයිඩ් ඒක . . .

ගිය සතියේ කොළඹ ආවේ මෝටර් බයික් එකේ.. ටිකක් වැඩිපුර නිදා ගත්ත නිසා.( සදුදා දවසෙත් වැඩිපුර ටිකක් වෙලා නිදාගන්න තියෙන කැමැත්ත ගැන මම මතක් කරන්න ඕනේ නැහැනේ ) අවුරුදු 10 ක් විතර ඉදන් මෝටර් බයික් පදින මම මේ වෙනකන්ම කිසිම මාර්ග භාදකයක නවත්තල නැති එක ගැන ප්‍රසිද්ධ සභාවක ලගදි දවසක කියද්දී තවත් යාලුවෙක් කිව්වේ ඕක ගැන ඔච්චර උදම් අනන්න ගිහින් අනාගන්න තමයි හදන්නේ කියල. . .
පරක්කු වෙලා තිබුන නිසා ටිකක් විතර නයා ගියපු පාරේ තමයි මම අවේ... මෝටර් බයික් වාහන තදබද තියෙන තැන්වල යනවා කට්ටියම දැකල ඇතිනේ.. අනිත් එක සදුදට නුවර ඉදන් කොළඹ එන මිනිස්සු,වාහන කන්දරාව නිසා විදලා විදලා පිබලා ආවත් ඔෆිස් එකට එනකොට 10.30 වෙනවා.. ඉතින් කට්ටියම ඉඩ ලැබුන ගමන් පිඹල එනවා එක පෝලිමට.. මමත් ඔය එන පෝලිමකට සෙට් වෙලා එනකොට ගිඩි ගිඩි ට්‍රැක්ටර් ( ගිඩි ගිඩි ගගා යන පොඩි ට්‍රැක්ටර් ) එකකට පාන් බට්ටෙක් ඉස්සර කරනවා ඊටත් වඩා හෙමින්. පාර ඉඩ තිබුන නිසාත් . . වාහන දෙකම හෙමින් ගියපු නිසාත් නිසා මම තුන් වෙනි පාර්ශවය විදිහට ඉස්සර කරන්න හදනකොටම පාර අයිනේ කෙනෙ ඉදන් ගැහැව්වා විසිල් එකක්... යාලුවෙක් වෙන්න ඇති කියලා බලනකොටයි දැක්කේ...
කතා දෙකක් නැහැ.. බඩේ බත් ටික වගේ දඩ තමයි කියලා බොහොම ශාන්ත විදිහට රාළහාමි ලගට ගියා.
ඉදිරිය හොදට පැහැදිලි නිසයි මම වාහන ඉස්සර කරන්න හැදුවේ කියලා කරුණු දැක්වුවත්, " ඔබ තුමා වැරද්දක් කරලා තියෙනවා.. එකට දඩුවමක් දෙන්න ඕනේ හැදෙන්න" කියලා මට අවවාද කරලා අවිනීත ලෙස රිය පැදවීම යටතේ දඩයක් දැම්මා. හැබැයි දඩය ගෙවන්න ගියාමයි දැනගත්තේ 150/= ක පොඩි දඩයක් කියලා.
ඔන්න මගේ පලවෙනි දඩය..( පොලොසියට ගෙව්ව )

මෙන්න කතාවේ නියම හරිය...
දැන් මම සිකුරාදා හවස බොහොම විවේකිව ගෙදර යන ගමන් බොහොම හෙමින් යන වෑන් එකක් ඉස්සර කරන්න සිග්නල් එලි පත්තු කරගෙන පස්සෙන් යනවා... දෙන දෙය්යෝ දෙන්නේ බිම පෙරලගෙන කියනවනේ. යාලුවෝ තුන්දෙනේක්ම ඉදලා ගැහැව්වා විසිල් එක.. වැරද්දක් නොකරපු නිසා මෝටර් සයිකලයෙන් බැහැලා බය නැතුව ගියා ලිය කියවිලි ටික ඔක්කොම අරගෙන. මෙන්න බොලේ එක රාලහාමි කෙනෙක් හෝ ගාල ලියනවා.. එහෙම ලියන ගමන් මගෙන් අහනවා දන්නවද කරපු වැරැද්ද මොකද්ද කියලා..#!..% ?
ඔලුව වටේට කැරකෙන තරු වල ආතල් එක බලන එක නවත්තලා මම කිව්වා "මම දන්නේ නැහැ . . දන්නා තරමින් වැරද්දක් කලෙත් නැහැ කියලා". වංගුවේ ඉස්සරකරන්න තහනම් කියලා දන්නේ නැද්ද කියලා අහනකොටම ලොකු දොරවල් 2 ක් තියෙන බස් එකක් ඒ වෙලාවේම ඒ වංගුවේ U TURN එකක් ගැහැව්වා. ( හිතාගන්නකෝ වංගුවේ තරම ) ලිය ලිය හිටපුව පැත්තකට දාල හරකා, බුරුවා..!*$#...කිය කියා රාළහාමිලා තුන් දෙනාම ඒ පැත්තට දිව්වා. . . විනාඩි 10 කින් විතර අපහු ආව ලොක්කා රාලහාමි කියනවා මම වංගුවේ ඉස්සර කරන්න හැදුවලු. . . එක නිසා දඩ ලියන්න ඕනේ කියලා.
මම කොච්ච‍ර කිව්වත් සිග්නල් එලි පත්තු කරගෙන පස්සෙන් අවට ඉස්සර කරන්න හැදුවේ නැහැ කියලා... රාළහාමි නො හෙල්ලුම්. විසිල් එක ගැහැව්වා පොඩි රාලහාමිට කතා කරලා අහනවා මෙයා ඉස්සර කරන්න හැදුව නේද කියලා... විසිල් එක ගහපු එකා කියයි ද නැහැ කියලා....
අනේ මගේ කට...!
විනාඩි 30 ක් විතර මම එතන... දඩ ලියන පාටකුත් නැහැ , යන්න දෙන පාටකුත් නැහැ. මට තේරුණා පොල් පැලේ කන්න තමයි හරකා හදන්නේ කියලා. 150/= ක් නේ දඩ ගහන්නේ කියලා මමත් සද්ද නැතුව හිටියා.. ඉල්ලන දේ දුන්නෙම නැහැ... ( ගෙදර යන ගමන් නේ...)
අන්තිමට වැරදි ලෙස ඉස්සර කිරීම යන වැරැද්දට දඩ කොලයක් ලිව්වා...(දෙවෙනි දඩය) සන්තෝසේ... බැහැ. සදුදා එකයි , සිකුරාදා එකයි.
ඒක ගෙවන්න ඊයේ පෙරේදා ගියහම තමයි අයෙත් තරු පෙනුනේ... දඩය 500/= ක්.

සදුදා කරපු වැරැද්ද ගැන නෙවෙයි මම කියන්නේ . . රථවාහන පොලිසිය ඉන්නේ දඩ ගහන්නම නෙවෙයිනේ...වැරදි නොවෙන්න වාහන හසුරවන්නත් එක්කයි. එහෙම අය නැහැ කියනවා නෙවෙයි.. ඇත්තටම සදුදා හම්බවුන රාළහාමි නිසා මම පිබලා යන ඒක අඩු කලා. එත් සිකුරාදා රෑ හිටිය අයනම් කරන්නේ රටට විනාශයක්... අපි ලංකාවේ පොලෝසිය කියලා එයාල ඔප්පු කලා.
අයෙත් නම් කොච්චර පරක්කු උනත් මෝටර් බයිසිකල් වල ඔෆිස් එන්නේ නැහැ කියන තැන මම ඉන්නේ... දියුණු වෙන රටක වෙන්න ඕනේ වැඩ පහසු කරන ක්‍රමයන් හදුන්වල දෙන ඒක නේද . .මෙයාලා 100/= ක් 200/= ක් හොයාගන්නවට වැඩිය විනාශයක් රටට කරනවා කියලයි මට හිතෙන්නේ.. ලංකාවේ අනාගතයම පස්සට අදිනවා කියලයි මට හිතෙන්නේ..කාටද පැමිණිලි කරන්නේ .?

මොනවා කරන්නද නඩුත් හාමුදුරුවන්ගේ( රජ්ජුරුවන්ගේ )
.....බඩුත් හාමුදුරුවන්ගේ ( රජ්ජුරුවන්ගේ ).

Thursday, July 29, 2010

කොත්තු දානය

සුප්‍රසිද්ධ හාමුදුරු නමකට දානයක් දෙන්න ලැබුන කෙනෙක් ඔහු ඒ සදහා මාවත් සම්බන්ද කරගත්තේ බොහොම සැදැහැ සිතින්. දානය පිළියෙළ කරන්නේ කොහේදැයි යන ප්‍රශ්නයට ඔහුගේ උත්තරය උනේ.. "කොත්තු කඩයක්.." බව සහ . . දානය චිකන් කොත්තු බවත්ය...
"දැන් චිකන් කන එක පවු නැද්ද...." කියලා අහපු මට හම්බවුනේ තවත් ඒ වගේම උත්තරයක්.. සැදැහැ සිතින් අපි දෙන ඕනෑම දෙයක් පිළිගන්න බවත් . . බුදු හාමුදුරුවෝ ඌරුමස් වලදලා තිබෙන බවත්ය.
සැදැහැ සිතින් අසූචි දුන්නොත් පිළිගනීවිද කියලා අහපු මට. . . උබලව මේකට සම්බන්ද කරගත්ත මට තමයි අසුචි කන්න දෙන්න ඕනේ කියලා දෙහි කපන්න පටන්ගත්ත නිසා අකමැත්තෙන් උනත් කටපියාගෙන වැඩේට සම්බන්ද උනා...
වැඩේ යන අතරේ වයසක උපාසක මහත්මයෙක්ගෙන් මේ ගැන ඇහැව්වේ හාමුදුරුවන් දැකගන්න පොරකන සෙනග කන්දරාව දැකලා හාමුදුරුවන් එක්ක මේ ගැන කතා කරන එක හිතින් අයින් කරපු නිසයි.
අන්තිමට ඒ උපාසක තැන කිව්වේ..අසවල් දේවල් දානයට තිබෙන්න අවශ්‍ය බව නොකියනමුත් සැදැහැ සිතින් දෙන ඕනෑම දෙයක් බාර ගන්න බවත් දානය දෙන ධර්මයෙහි හැසිරෙන අපි එහෙම දේවල් නොදෙන්න වගබලාගන්න අවශ්‍ය බවත්ය.

මම සහ ආදරය

මම එයාට ආදරේ කරන්නේ මගේ පනටත් වැඩියෙන්.. !
එත් එයා එහෙම නැහැ. . .
මම කියන්නේ තමන් . . . ඒ කියන්නේ තමන් ගැනයි හෙමින් හෙමින් හිතෙන්නේ..
ඒ ආදරේ නැති උනොත් දුක හිතෙන්නෙත් තමන් ගැන... එයා ගැන නෙවෙයි. මොකද ඒ තරම් තමන් ආදරේ කරලත් තමන්ට එක නැති උනා කියන දුක.නමුත් මට එහෙම දැනෙන්න විදිහක් නැහැ මම ඇත්තටම ආදරය කරනවනම්..
"එත් එයා එහෙම නැහැ" කියන්නේ,මම තරම් එයා නැහැ කියන එකනේ.
ඒ කියන්නේ මම හිතන්නේ එයා ගැන නෙවෙයි . . මම ගැනයි. මට හම්බ වෙන්නේ නැති ඒක ගැනයි. එහෙම බලනකොට මම ආදරය කරන්නේ මට නේද කියලත් හිතෙනවා.

Monday, July 26, 2010

නොම්මර එක

ගොඩක් කාලෙක ඉදන් බ්ලොග් එකක් (adsense නැති ) ලියන්න හිතාගෙන ඉන්නේ.. හැමදාම වැඩේ ඉවර කරන්න බැරි වෙනවා. ලියන්න තරම් දෙයක් තිබුනේ නැති නිසාද දන්නේ නේ. දැන්නම් ලියන්නම හිතිලා තියෙන්නේ, එක නිසා වැඩේ පටන්ගත්ත. ඔන්න එහෙනම් නොම්මරේ අද ඉදන් ලියනවා.